නවලිබරල්වාදයේ සිට කෝවිඩ්-19 ධනවාදය දක්වා

- විමුක්ති -

මේ වනවිට ඉතාමත් පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ධනවාදයේ නවලිබරල්වාදය, අවධිය එහි අවසනට පැමිණ ඇති බවය. එය අරුමයක් නොවේ. මා මෙයට පෙර සටහනෙන් දැක්වූ පරිදි ධනවාදයේ විවිධ අදියරයන්හි ආයුකාලය සාමාන්‍යයෙන් වසරක් 50 කට වැඩි නොවී ය. ප්‍රශ්නය පැන නගින්නේ නවලිබරල්වාදී අදියර අවසන අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද යන්න ය. ලාභය අරමුණුකරගත් සමුච්චන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යා හැකිද? නැත්නම් එයට වෙනස් සමාජ-ආර්තික සහ දේශපාලන-සංස්කෘතික ගොඩනගා ගැන්මට මානවවර්ගයාට හැකිවේ ද? මෙම කරුණු සමාජ ආර්ථික ක්‍රමයේ හුදු අර්බුදය මගින් තීරණය වන්නක් නොවේ. එය මුලුමනින්ම වාගේ පංති අතර බල තුලනය මත තීරණය වන්නකි.

කෙසේ වුවද ජාත්‍යන්තර මට්ටමෙන් ම ජාතික මට්ටමෙන් සලකා බැලුවද නව විමුක්තිවාදී සමාජ-ආර්තික සහ දේදේශපාලන-සංස්කෘතික ක්‍රමයක් ගොඩ නැගීමට හිතවත් සහ වාසිදායක පංති බලතුලනයක් දැකිය හැකියැයි මම විශ්වාස නොකරමි.

එසේනම් නවලිබරල්වාදයෙන් පසු පැමිනිය හැක්කේ කුමක්ද? ඩේවිඩ් හාවී ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් මෙය දකින්නේ ට්‍රම්ප්වාදී විනාශකාරී එකක් ලෙසය. වෙනත් වඩා සුගම පදයක් සොයාගන්නා තුරු නයෝමී ක්ලීන් අනුකරණය කරමින් මම එය කෝවිඩ්19 ධනවාදය ලෙස හදුන්වමි.

කෝවිඩ්19 ධනවාදය නවලිබරල්වාදයෙන් වෙනස් වන්නේ පළමුවැන්න යටතේ පොදු සෞඛ්‍යයේ වගකීම රාජ්‍යය දැරීමට ඉදිරිපත් වීම නිසා ය. එනයින් පොදු සෞඛ්‍යය ලාභ සමුච්චනයෙන් ඉවත් කෙරෙනු ඇත.

දෙවනුව රාජ්‍යය විශාල වශයෙන් ආර්ථිකයට මුදල් පොම්ප කරනු ඇත. එහෙත් ඒ පොදු ආයෝජන සදහා නොව පෞද්ගලික ධනපති ලාභ වැඩිකිරීමට ය. කොවිඩ් 19 පිපිරීයාමෙන් පසු ඇමරිකානු ඉහල ධනපතිනගේ වත්කම් ඩොලර් බිලියන 250 කින් පමණ වැඩිවී ඇතැයි කියවේ.

තෙවනුව ලාභ පදනම්කරගත් සමුච්චනය පහසුකරන ලෙස ශ්‍රම වෙළදපොල සකසනු ඇත. ශ්‍රම වෙළදපොල නම්‍යකරණය වඩා ගැඹුරෙන් සිදුවනු ඇත.

සිව්වෙනුව ආන්තික ජනකොටස් සම්බන්ධ මර්ධනය වැඩිවනු ඇත. විශේෂයෙන් සංචාරක ශ්‍රමිකයන් නරක සැලකීමකට යටත් කරනු ඇත.

පස්වෙනුව චීනයේ සහ වියට්නාමයේ ශක්තිමත් රාජ්‍යය පිළිබද ඇදහීමට ජාත්‍යන්තර වලංගුබවක් ලැබෙනු ඇත.

Comments